මිනිසාගෙන් පරිසරයට සිදු වූ අයහපත් ක්‍රියාකලාපයන් හේතුවෙන් ගෝලීය වශයෙන් ඇති වූ දේශගුණික විපර්යාස වල බලපෑම නිසා පසු ගිය කාල සීමාව තුළ නිරන්තරයෙන් ගංවතුර හා නියගය වැනි විවිධ වු ආන්තික පාරිසරික තත්ත්වයන්ට මුහුණ දීමට අප හට සිදු විය. මෙහිදී කෘෂිකාර්මික ක්ෂ්ත්‍රය වෙත වන බලපෑම ඉතා ඉහළ වීම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම ප්‍රබල අභියෝගයක් වී ඇත. මෙම වසරේදීද 2016/17 මහ කන්නය තුළ පවත්නා වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් වගා වපසරියේ අඩු වීමක් මෙන්ම වගා කරන ලද වගාවන් හානියට ලක් වීමද තුළින් දේශිය ආහාර නීෂ්පාදනය පහළ වැටී ඇත. මේ සදහා පිළියමක් ලෙස හා ඉදිරියේදී ඇති වන දේශගුණික විපර්යාසයන්යට වඩාත් සැලසුම් සහගත ලෙස මුහුණ දීමේ සදහා අනුවර්තනය වීමේ වැඩසටහනක් අමාත්‍යාංශය මගින් දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ වියළි කලාපය  හා තෙත් කලාපය ලෙස ඒ ඒ කලාප සඳහා සුවිශේෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

ඒ අනුව විශේෂයෙන් වියළි කලාපයේ වැව් වල  පවතින රොන් මඩ ඉවත් කර වැවේ ජල ධාරිතාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරනු ලබයි. එසේම අමුණ ප්‍රතිසංස්කරණය තුළින් වගාවට අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සදහා විශේෂ වැඩසටහනක්ද සැලසුම් කර ඇත. වියළි කලාපයේ වාරි ජලය නොමැති ප්‍රෙද්ශ වල වගා කටයුතු සදහා පුරාණයේ සිට ගොවීන් වගා ලිං භාවිතා කරන ලදී. එම ලිං ස්ථිර බැමි බැද නඩත්තු නොකිරීම හේතුවෙන් වර්ෂා කාලයන්හිදී ලිං බැමි කඩා වැටීම හේතුවෙන් ඒවා භාවිතයට ගැනීමට නොහැකි තත්වයට පත් වී ඇත. එබැවින් මෙම වසරේදී වියළි කලාපයේ වගා ලිං ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛතාවය ලබා දී ඇත. දේශගුණ විපර්යාස වලට අනුවර්තනය වීමේ ස්වාරක්ෂක කලාපයක් ලෙස තෙත් කලාපය හදුනා ගත හැකිය. විවිධ  වූ හේතු නිසා තෙත් කලාපයේ පුරන් වී ඇති කුඹුරු අස්වද්දමින් නැවතත් ජාතික නිෂ්පාදනයට තෙත් කලාපයේ දායකත්වය එක් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ක්‍රියාත්මක කරනු ලබයි.